www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්

ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ අනුගාමිකයන් වීමට නම්..

"නුඹලා අතරේ තමා සන්තක සියල්ලම අත්නාරින කවරෙකුට නුමුත් මාගේ ගෝලයන් වෙන්නට බැරිය."
-ලුක් 14:33

සාමාන්‍යය ව්‍යවහාරයෙන් ඔබ්බට ගොස් සැඟවුණ ආත්මික යථාර්තය පහදා දෙනු පිණිස යේසුස් වහන්සේ විසින් උපමාවක් ලෙසින් පවසනු ලැබූ මේ උපමා කථාවේ හරය එදිනෙදා ජිවිතයෙදී අපි කරණ කියන දේවල් හා සමග සමීප සබැඳියාවක් පෙන්නුම් කරයි. උපමා කතාවක් මුල්කර ගනිමින් යේසුස් වහන්සේ විසින් තම ගෝලයන්ට දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීම වෙනුවෙන් ගත යුතු තීරණය ගැන පෙන්වාදෙන "පවුරක් ගොඩනගන්නට සුදානම් වන තරුණයෙක්" ගැන පැවසෙන මේ උපමා කතාව ලූක්ගේ ශුභාරංචි පොතේ දැකීමට හැකිවෙයි.

යේසුස් වහන්සේ විසින් තම ගෝලයන්ට කියාදුන් මේ උපමා කථාව ඉස්මතු කර පෙන්වන සරළ අර්ථය වන්නේ; දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට තම ජීවිතය දෙවියන්වහන්සේට බාරදීමට කැමති නම්, ඒ වෙනුවෙන් තම කැමැත්ත අත්හැරීමටද සිදුවන බැවින් ඒ ගැනත් සිතා බලා අවංකව ඒ තීරණය ගතයුතු බව පෙන්වාදීමයි. වර්තමානයේ ජිවත්වන අපි යේසුස් වහන්සේ අනුගමනය කල ඒ ගෝලයන්ගේ කණ්ඩායමට අයත් නොවුනත් යේසුස් වහන්සේගේ මේ ඉගැන්වීම අද දවසේ ජිවත්වන අපටත් අදාළ වන්නේ, අපත් යේසුස් වහන්සේට කිකරුවී ජීවත්වීමට තීරණය කල ඇදහිලිවන්තයන් වන නිසායි.

යමෙක් පවුරක් හෝ ගොඩනැගිල්ලක් ගොඩනැගීමට පෙර එය නිමකිරීමට තමාට හැකිදැයි පළමුව සිතා බලා ඒ කාර්යය පටන් ගැනීම සුදුසු වන්නේ පටන්ගත් ඒ කාර්යය අවසාන කිරීමට නොහැකි නම්, ඒ වෙනුවෙන් වැයකරන සියලු දේ අපතේ යන හේතුවයි. ඒ අනුව අවශ්‍යය අමුද්‍රව්‍යය හෝ හැකියාව තමා අත නොමැති නම්, ඒ වැඩේ පටන් නොගෙන සිටීම යහපත් බව පෙනෙයි. එය එදිනෙදා ජිවිතයේ අප කරන දේවල් වලට පමණක් නොව නුමුත් එදිනෙදා ජීවිතයේදී අප ගන්නාවූ තීරණ වලදී පවා වැදගත් බව යේසුස් වහන්සේ මෙහිදී තම ගෝලයන්ට පෙන්වාදෙයි.

"එසේ නොකර අත්තිවාරමක් දමා එය නිමකරන්නට බැරිවූ විට එය දකින සියල්ලෝ, මේ මනුෂ්‍යයා ගොඩනගන්නට පටන්ගත් නුමුත් නිම කරගන්නට ඔහුට බැරිවී යැයි කියා, ඔහුට විහිළු කරන්නට පටන්ගන්නෝය" (14:29).

යේසුස් වහන්සේ විසින් යොදාගත් මේ උපමා කතාවේ පසුබිම අප ජිවත්වන මේ වර්තමාන කාලයට එතරම් අභියෝගයක් සේ නොපෙනුණත් එදා තිබු ඔවුන්ගේ සංස්කෘතිය හා සමග සසඳා බැලීමේදී එය ඔවුන්ට වැදගත් වුයේ, යම්කිසි පුද්ගලයෙකු ආරම්භකළ යමක් අවසන් නොකරන්නේ නම්, එදා සමාජය ඒ පුද්ගලයා විවේචනය කිරීමටත් ලැජ්ජාවට පත්කිරීමටත් පමණක් නොව නුමුත් ඔහු අනුවණයෙක් කොට සමාජය ගණන්ගැනීමටත් එය හේතුවක් වීමයි. එබැවින් එය මනාව අවබෝධකර ගැනීමට නම් අපට යේසුස් වහන්සේ ජීවත්වූ ඒ කාලයේ මිනිසුන්ගේ සිතුම් පැතුම් වලට අනුකුලව ඒ දෙස බැලීමට සිදුවෙයි.

පටන් ගත් දෙයක් නිමකර ගන්නට නොහැකිකම නිසා මුහුණ පාන්නට වන අමාරුකම උදාහරණයකට ගනිමින් යේසුස් වහන්සේ තම ගෝලයන්ට පෙන්වාදීමට උත්සාහ දරන්නේ; දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිලිබඳ ඇති කාරණාවලට යොමුවීමේදී පවා අප එකිනෙකා ඒ ගැනත් ගැඹුරින් සිතා බලා තීරණයක් ගත යුතු බවත් පෙන්වාදීමටයි. හේතුව දෙවියන්වහන්සේ වෙනස් නොවෙන ස්වභාවයක් ඇති අයෙක් බැවින් උන්වහන්සේ මෙන් අපත් අපගේ තීරණ වලදී පවා වෙනස් නොවී සිටීම දැකීම උන්වහන්සේ ගේ කැමැත්ත බවත් පෙන්වාදීමටයි. මේ අදහසම සොලොමොන් රජතුමාද ඉතා සරලව ඔහුගේ ලියවිලි වල පැහැදිලි කර ඇති ආකාරය දේශනාකාරයා ගේ පොතේ දැකිය හැකියි.

"නුඹේ මුඛයෙන් ඉක්මන්කාර නොවන්න.
නුඹේ සිතද දෙවියන්වහන්සේ ඉදිරයෙහි කාරණයක් නිකුත් කරන්නට ඉක්මන් නොවේවා.
නුඹ දෙවියන්වහන්සේට භාරයක් උනාම එය ගෙවන්නට ප්‍රමාධ නොවන්න.
නුඹ බාරයක් වී එය නොගෙවා සිටිනවාට වඩා, බාරයක් නොවී සිටීම හොඳය.
මක්නිසාද උන්වහන්සේ ආඥානයන් කෙරෙහි ප්‍රසන්න නැත.
- දේශනාකාරයා 5

සාමානයයෙන් යමක් තෝරාගැනීමේදී හෝ යම්කිසි දෙයක් ගැන තීරණයකට එළඹීමේදී ඒ වෙනුවෙන් ඇති සියලු භාදාවන් ඉවත් කරගැනීමද ඒ තීරණය වෙනුවෙන් වැදගත් වන්නාක් මෙන්ම, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ පංගුකාරකම වෙනුවෙන් තීරණ ගැනීමේදී පවා ඒ වෙනුවෙන් ඇති බාධාවන්ද අත්හැර දැමීමේ අවශ්‍යයතාවය උන්වහන්සේ මෙහිදී තම ගෝලයන්ට පෙන්වාදෙයි.

දෙවියන්වහන්සේ අනුගමනය කිරීමට අප තීරණය කරනවිට පවා ඒ වෙනුවෙන් අපගේ පුද්ගලික කැමැත්ත කිරීමට වඩා දෙවියන්වහන්සේට කිකරුවී ජීවත්වීම වෙනුවෙන් අපගේ පුරුදු පුහුණුවූ තවත් දේවල් අත්හැර දැමීමටද සිදුවන බැවින් ඒ ගැනත් අපගේ අවදානය යොමුකිරිම වැදගත් බව මේ පාඩම අපට උගන්වයි.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගැනීම පමණක් නොව නුමුත් එතැන් පටන් මරණය දක්වාම උන්වහන්සේට කීකරුව ජීවත්වීමත් ක්‍රිස්තියානි ජිවිතයට ඇතුලත් වෙයි. එබැවින් යේසුස් වහන්සේ පිළිගත්තා දැන් ඔක්කොම හරියි කියා ඉන්පසු උන්වහන්සේට ජිවිතයෙන් කීකරු නොවී සිටීමක් පට කල හැකිනොවන්නේ, ක්‍රිස්තියානි ජීවිතය යනු සම්පුර්ණයෙන් දෙවියන්වහන්සේගේ කැමැත්තට කිකරුවී ජීවත්වීමට ගන්නාවූ තීරණයක්ද වන නිසායි.

දෙවියන්වහන්සේ පිළිගැනීමට තීරණය කිරීමෙන් අනතුරුව අපගේ ආත්මික ජීවිතය ගොඩනැගෙන්නේ අප තුල ඒ වෙනුවෙන් ඇති කැපවීම මතයි. කිකරුවිම පමණක් නොව නුමුත් ඇදහිල්ලට විරුද්ධව පැමිණෙන බාධා ඉදිරයේ නොසැලී සිටීමත් ඒ වෙනුවෙන් බලපායි. ඒ අනුව ක්‍රිස්තු ඇදහිල්ල තුලින් දෙවියන්වහන්සේට සම්බන්ධවීමට තීරණය කිරීම එක වරක් පමණක් නොව නුමුත් එය දිනපතාම මුළු ජිවිත කාලය තුලදීම සිදුවන්ක්ද වන බැවින් එදා යේසුස් වහන්සේ පෙන්වාදුන් ඒ උපමාව ලෙසින් එයත් දිනපතා ගොඩනැගෙන පවුරක් හෝ ගොඩනැගිල්ලකට සමාන වෙයි. එබැවින් එය අවසානය දක්වා තබාගැනීමේ තීරණය වැදගත් වෙයි.

මේ අදහස පාවුල් තුමාද තම අනුගාමිකයන්ට පැහැදිලි කරනු පෙනෙයි. එහිදී ඔහු ඒ වෙනුවෙන් ගත් උදාහරණ වන්නේ, දිනුම් කනුව නමැති අවසාණය තෙක් දිවයන ක්‍රීඩකයෙකුගේ පින්තුරයයි. ඇදහිලිවන්තයාද දිනුම්පොළ නමැති අවසාණය තෙක් අදිෂ්ඨාන පුර්වකව දිනුම පිණිස දුවයන ක්‍රීඩකයෙකුට හා සමාන කරන පාවුල් තුමා , එයින් පෙන්වාදෙන්නේ අපි සියලුදෙනාටම අවසානයේ ඒ වෙනුවෙන් සහතිකයක් හිමිවන බවයි. නුමුත් ඒ පොරොන්දුවේ සහතිකය අවසානය තෙක් ස්ථිරව ඇදහිල්ලෙන් දිව ගොස් තරගය අවසාන කරන අයට පමණක් ලැබෙන බවත් ඔහු පෙන්වාදෙයි.

එබැවින් දෙවියන්වහන්සේ විශ්වාස කිරීමට පැමිණීම පමණක් සම්පුර්ණ ක්‍රිස්තියානි ඇදහිල්ල වශයෙන් කීමට නොහැකි වන්නේ, ක්‍රිස්තුස් වහන්සේ පිළිගැනීම හෝ විශ්වාස කිරීමට පැමිණීම එහි අත්තිවාරම පමණක් වන නිසායි. ඒ අත්තිවාරම මත අප එකිනෙකා ඇදහිල්ලෙන් සහ කීකරුකම තුලින් අපගේ ආත්මික ජීවිතය නමැති ඒ ගොඩනැගිල්ල අවසානය දක්වාම ගොඩනැගීමටද අවශ්‍යය වෙයි. ඒ අනුව ක්‍රිස්තුස්වහන්සේ නමැති අත්තිවාරම මත ගොඩනගනු ලබන අපගේ ආත්මික ජීවිතය (ගොඩනැගිල්ල) මරණය තුළින් සදාකාල ජීවනය වන දෙවියන්වහන්සේට සම්බන්ධ වන තෙක්ම මොලොව ක්‍රියාවට නැගෙයි.

යමෙක් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාසකරමින් උන්වහන්සේව හදවතට පිළිගන්නා අවස්ථාවේ සිදුවන්නේ, දෙවියන්වහන්සේ තුළ ගොඩනැගීමට යන්නාවූ මේ අලුත් ජිවිතයට ක්‍රිස්තුස් වහන්සේ නමැති අලුත් අත්තිවාරම තැබීම පමණි. එවිට ඒ ගොඩනැගිල්ල තාමත් සම්පුර්ණවූ එකක් නොවන්නේ, ගොඩනැගීම පිණිස අප දෙවියන්වහන්සේට බාරදුන් අපගේ තීරණය (කිකරුවිමට තීරණය කරන බවට තුල දැමු ඒ යහපත් අත්තිවාරම නමැති යේසුස් වහන්සේට අපගේ සිත භාරදීමේ තීරණය) තාමත් අත්තිවාරමක් පමණක් වන නිසායි. එබැවින් ඉන්පසු අප ජිවිතයෙන් කිකරුවිමත් අවශ්‍යය වන්නේ, ඒ කීකරුකමේ ජීවිතය පමණක් අපගේ ගොඩනැගිල්ල ද වන නිසායි.

වහලක් නොමැතිව බිත්ති පමණක් ඇති ගොඩනැගිල්ල අප කිසිවිටෙකත් "නිවසක්" ලෙසින් හඳුන්වන්නේ නැත. එවිට එය පිළිගනු ලබන්නේ බිත්ති පමණක් ඇති ගොඩනැගිල්ලක් ලෙසින් පමණි. එසේම ශක්තිමත් අත්තිවාරමක් පමණක් දමා තිබෙන පවුරද, අපි පවුරක් ලෙසින් එය පිළිනොගන්නේද අත්තිවාරමක් ශක්තිමත්ව දමා තිබුණත් ඒ මත පවුර දැකීමට නොහැකි වීමේ හේතුවයි.

දෙවියන්වහන්සේ අනුගමනය කිරීම පිළිබඳව යේසුස් වහන්සේ විසින් තම ගෝලයන්ට පෙන්වා දෙන්නේද ඒ සත්‍යය යථාර්තයයි. ක්‍රිස්තුස් වහන්සේ තුළ සම්පුර්ණයෙන් ගොඩනැගුණු ජිවිතයක් මිසක් අතර මඟ නවතා දමා ඇති ක්‍රිස්තියානි ජීවිතය සම්පුර්ණ ක්‍රිස්තියානි ජිවිතයක් නොවන්නේ එය තවමත් ගොඩනැගෙමින් පවතින එකක්ද වන නිසායි. දේව රාජ්‍යයේ පංගුකාරයන් වීමට අප ගන්නා වූ ඒ තීරණය ගැන යේසුස් වහන්සේ මෙහිදී තම ගෝලයන්ට උගන්වන ආත්මික සත්‍යය වන්නේ එයයි.

එදා යේසුස් වහන්සේ තම ගෝලයන්ට පෙන්වාදුන් මේ උපමාව ගැන සිතා බැලීමේදී එතුලින් කාරනා දෙකක් ඉස්මතුවෙයි. පළමුවැන්න වන්නේ, අපගේ ආත්මික ජිවිතයේ වර්ධනය දෙවියන්වහන්සේගේ පැත්තෙන් පමණක් සිදු නොවන්නක් බවයි. ඒ වර්ධනයේ වගකීම අපේ පැත්තෙනුත් ක්‍රියාවට නැගෙන්නක් බවත් එය පැහැදිලි කරයි. එබැවින් එහි වර්ධනය උදෙසා දෙවියන්වහන්සේගේ පිහිට උපකාරයට අමතරව එය සාර්ථකව ගොඩනගා ගැනීම වෙනුවෙනුත් ඇදහිලිවන්තයන් හැටියට අපගේ සම්පුර්න වගකීමත් ඒ සඳහා කෙලින්ම බලපාන බවත් පෙනෙයි.

ඊට අමතර එය පෙන්වාදෙන අනෙක් කාරනාව වන්නේ; දෙවියන්වහන්සේ ඉදිරියේ නියම අනුගාමිකයන් වශයෙන් සැළකෙන්නේ උන්වහන්සේ වෙනුවෙන් අප කිරීමට කැමති වන ක්‍රියාවන් තුල නොව නුමුත් උන්වහන්සේ ඉදිරියේ අප කෙතරම් දුරට අවන්කවී සිටිනවාද යන කාරණයයි. ඒ අනුව අපගේ ක්‍රියාව නොව නුමුත් අපගේ හදවතේ අවංකකම පමණක් දෙවියන්වහන්සේට වැදගත් බව පැහැදිලිව පෙනෙයි. මේ කැපවිමේදී අප අතින් සිදුවන දුර්වලකම් හෝ අප අතින් සිදුවන වැරදි උන්වහන්සේ ගණන් නොගෙන හැරියත් උන්වහන්සේ අපගේ අවංකම එසේ ගණන් නොගෙන නොසිටන බවත් එය පෙන්වයි.

යේසුස් වහන්සේ ඔබෙන් සහ මගෙන් අද දින බලාපොරොත්තු වන්නේ එවැනි ජීවිතයකි. මෙම උදාහරණය තුළින් උන්වහන්සේ අපට පෙන්වා දෙන්නේ ඒ ආත්මික උදාහරණයයි. අප සතු අපගේ කැමැත්ත යටත් කරමින් සහ අප සතු සියල්ල ක්‍රිස්තුස් වහන්සේ තුලින් සපයා දුන් ඒ ගැලවීම උරුමකර ගැනීම වෙනුවෙන් ජිවත්වීම පමණක් ඇදහිලිවතයාගේ ද අරමුණ විය යුතු බවත් එය පෙන්වයි. උන්වහන්සේගේ සැලැස්ම අපගේ සැලැස්ම කරගැනීම ඒ කැපවීමේ තීරණයයි.

(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /©2016- darmadasa.org)